පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
පසුගිය 25 වනදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අතරතුර, මන්ත්‍රීවරයා ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබුණි.
අදාළ ඉඩමේ අයිතිය පිළිබඳ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, එම ඉඩම තමන්ට අයත් බව මන්ත්‍රීවරයා පවසන අතර තවත් කාන්තාවක්ද එහි අයිතිය ඉල්ලා සිටී.
එදින ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමක් ඇතිවී, එය දුරදිග යාමෙන් අනතුරුව මෙම සිද්ධිය වාර්තා වී ඇති බව සඳහන් වේ.




