පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදු කිරීමට අනුබල දුන් බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ අණදෙන නිලධාරියා සහ පොලිස් කොස්තාපල් රියැදුරෙකු කරදියනාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කරදියනාරු පොලිස් වසමේ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකදී ඊයේ (11) අලුයම 5.00ට පමණ පුරාවස්තු සෙවීමේ අරමුණින් පිරිසක් කැණීම් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙහෙයුමක් සිදු කර ඇත.
එහිදී කැණීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම නීතිවිරෝධී ක්‍රියාවට මහඔය විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරියා සහ ඔහුගේ රියැදුරු සෘජුවම අනුබල දී ඇති බවයි.
පසුව ඊයේ රාත්‍රී 8.00ට පමණ එම නිලධාරීන් දෙදෙනාද කරදියනාරු පොලිසියට ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කටයුත්ත සඳහා රාජකාරි සඳහා වෙන් කර තිබූ ජීප් රථයක්ද භාවිත කර ඇති අතර, එයද නඩු භාණ්ඩයක් ලෙස පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.




