රට පුරා ඇති ප්‍රදර්ශන පුවරුවල විදුලි බල්බ සහ අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර වාර්තා ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබේ.
මෙම නියෝගය පොලිස්පති අණදෙන කොට්ඨාසය මඟින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් භාර නිලධාරීන්ට, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ රජය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වේ.
පෙර ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවට ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති අතර, එක් එක් ස්ථාන අනුව සවිස්තරාත්මක වාර්තා යළි ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.
මෙම නියෝගය හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු රථවාහන, අපරාධ හා දූෂණ මර්දන රාජකාරිවලින් ඉවත් කර විදුලි කණු සහ ප්‍රදර්ශන පුවරු ගණනය කිරීම සඳහා යොදවා තිබූ බවද වාර්තා වේ.




