මෙරට රාජ්‍ය සේවයේ නියුතු සියලුම සේවකයින්ට ගෞරවනීය ස්ථානයක් සහ වටිනාකමක් හිමිවිය යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මඟින් නව පුහුණු උපදේශකවරුන් සහ පුහුණු නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකදීය.
අප්‍රේල් 09 දින නාරාහෙන්පිට “නිපුණතා පියස” පරිශ්‍රයේ පැවති මෙම උත්සවයේදී, දිවයින පුරා වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර 29කට අදාළව උපදේශකවරුන් 216 දෙනෙකුට සහ පුහුණු නිලධාරීන් 25 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දෙන ලදී. වසර හතරකට පසුව මෙවැනි විශාල පිරිසකට එකවර පත්වීම් ලබාදීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කාර්යක්ෂම සහ විශ්වාසනීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සේවකයින්ට ගෞරවය සහ නිසි සැලකිල්ල හිමි වීම අත්‍යවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් රජය වැටුප් වර්ධනය ඇතුළු සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැවසීය.
තවද සුදුසුකම් අනුව අවස්ථා ලබාදෙන, තෘප්තිමත් සේවා පද්ධතියක් ඇති කිරීම සඳහා රජය කැපවී සිටින බවද, සේවකයින්ට ගෞරවය නොමැතිව ඔවුන්ගෙන් ගුණාත්මක සේවාවක් අපේක්ෂා කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වැඩි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එමඟින් විශාල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, අනාගත පරපුරට දැනුම ලබාදෙන මෙම පුහුණුකරුවන්ගේ භූමිකාව රටේ ආර්ථික වර්ධනයට වැදගත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම උත්සවයට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් සහ පත්වීම්ලාභීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




