🗞️ නිව්ස් වාර්තාව:
දශක හයකට අධික ඉතිහාසයක් ඇති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු අග්‍රාමාත්‍යවරියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
1964 වසරේ ඉදිකරන ලද මෙම බස් නැවතුම්පොළ, කාලයත් සමඟ නඩත්තු නොවීම හේතුවෙන් පරණ තත්ත්වයට පත්ව තිබූ අතර, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ නවීන පහසුකම් සහිතව යළි සංවර්ධනය කර ඇත.
අප්‍රේල් 08 වන දින ජනතා අයිතියට පත් කළ මෙම නවීකරණයේ මූලික අරමුණ වන්නේ මගීන්ට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදීමයි.
ප්‍රතිසංස්කරණයේදී කාන්තාවන්ගේ පහසුව සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති අතර, කිරිදෙන මව්වරුන් සඳහා පෞද්ගලිකත්වය රැකෙන විවේක ස්ථාන සකස් කර තිබීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රශංසාවට ලක් විය.
මගී ආසන වෙන්කිරීමේ නව ක්‍රමවේද සහ තොරතුරු ලබාදෙන පද්ධති පිළිබඳවද ඇය සොයා බැලූ අතර, නවීන නිරීක්ෂණ කැමරා පද්ධති ඇතුළු ආරක්ෂක පහසුකම්ද පරීක්ෂා කළාය.
මෙම සංචාරයේදී මගීන් සමඟ සෘජු ලෙස කතාබස් කළ අග්‍රාමාත්‍යවරිය, නව පහසුකම් පිළිබඳ ඔවුන්ගේ අදහස්ද විමසා සිටියාය.
පොදු ප්‍රවාහන සේවාව සාමාන්‍ය ජනතාවට ගෞරවනීය, ආරක්ෂිත සහ නවීන සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද මෙහිදී අවධාරණය කෙරිණි.




