රාජ්‍ය සේවා දුරස්ථව පවත්වාගෙන යාමේදී ඩිජිටල් තාක්ෂණයන් වඩාත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සඳහා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව කටයුතු කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට බලපෑ ඉන්ධන සැපයුම් සීමාවන් සහ සමස්ත බලශක්ති කළමනාකරණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික ඉන්ධන තොග මත ඇති පීඩනය අවම කිරීම සඳහා කාර්යාලීය සේවා සීමිතව පවත්වාගෙන යාමට රජය මීට පෙර පියවර ගෙන තිබුණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ උපදෙස් අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ එක්ව දුරස්ථ සේවා ක්‍රමවේදයට හැකිතාක් යොමු වීමේ හැකියාව සොයා බැලීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර තිබේ.
ඒ අනුව, දුරස්ථ සේවා සැපයීම සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම පිළිබඳ අතුරු මාර්ගෝපදේශ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශ භාෂා තුනෙන්ම සකස් කර ඇති අතර, අදාළ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව ද සඳහන් වේ.




