දින 07ක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති “ඒහි පස්සිකෝ” සාම පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එයට එක්වූ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන මෙරටින් පිටත්ව ගොස් තිබේ.
අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා, ‘ආලෝකා’ සුනඛයා සහ ගිහි පිරිසක් අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නගරය බලා පිටත්ව ගියහ. එතැන් සිට ඔවුන් වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව වෙත ගමන් කිරීමට නියමිතය.
අලුයම ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණි භික්ෂූන් වහන්සේලා වෙත දන් පිළිගැන්වීමක් ද සිදුකර තිබූ අතර, ගුවන්තොටුපොළ සේවක සේවිකාවන් ද පැමිණ ආශිර්වාද ලබාගෙන තිබුණි.
මේ අතර ‘ආලෝකා’ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පශු වෛද්‍යවරුන්, ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් විශේෂ අවධානය යොමු කර තිබුණි.
මෙම සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ඊයේ (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.




