නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කරන කාලය තුළ එහි කටයුතු නුවරඑළිය ළමා පුස්තකාල ගොඩනැගිල්ලට මාරු කිරීමට ගත් තීරණයට ප්‍රදේශවාසීන් සහ පාඨක සමාජයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.
නුවරඑළිය පුස්තකාල පාඨක සමාජයේ ප්‍රධාන ලේකම් පී.එස්.කේ. රත්නායක මහතා ඇතුළු පිරිස පවසන්නේ මෙම තීරණය දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් නොසලකා ගත් එකක් බවයි.
මධ්‍යම පළාතේ හොඳම ළමා පුස්තකාලය ලෙසද ජාතික මට්ටමේ සම්මාන රැසක් ලබා ඇති මෙම ස්ථානය තාවකාලික තැපැල් කාර්යාලයක් සඳහා යොදා ගැනීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම නගරයේ පරණ මහ නගර සභා ගොඩනැගිල්ල සහ තවත් වාණිජ ගොඩනැගිලි පවතිද්දී පුස්තකාලයම තෝරා ගැනීම පිටුපස දේශපාලන බලපෑම් ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
මේ අතර, දැනට පොත්පත් ගබඩා කර ඇති ගොඩනැගිල්ල ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති අනාරක්ෂිත ස්ථානයක් බවත්, එය දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ අවදානමක් බවත් වාර්තා වේ.




