සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබේ.
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පිරිසක් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ඊයේ (30) සිය නිවසේ ගෙවත්තේදී මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
ඔහුගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් දක්නට ලැබීම හේතුවෙන් එය සියදිවි නසාගැනීමක්ද, ඝාතනයක්ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඊට අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (01) පස්වරුවේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බව වෛද්‍ය මණ්ඩලය නිගමනය කර ඇත.




