හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති ඕලන්දයට අයත් MV Hondius විනෝද චාරිකා නෞකාවේ සිටි රෝගීන් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉවත් කිරීමෙන් අනතුරුව නෞකාව කේප් වර්ඩ් දූපත්වලින් පිටත්ව ගොස් තිබේ.
මෙලෙස ඉවත් කළ පිරිස අතර 56 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, 41 හැවිරිදි ඕලන්ද ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ 65 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු සිටින බව වාර්තා වේ. ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර, දෙදෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇත.
තෙවැන්නා රැගත් ගුවන් යානය ප්‍රමාද වී ඇති බව නෞකාවේ මෙහෙයුම්කරු වන Oceanwide Expeditions ආයතනය පවසයි.
මීට මසකට පෙර ආර්ජන්ටිනාවෙන් ආරම්භ කළ මෙම නෞකාවේ සිටි පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් එක් අයෙකුට හන්ටා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ මේ වන විට නෞකාව ආශ්‍රිතව තහවුරු කළ රෝගීන් 3ක් සහ සැක සහිත රෝගීන් 5ක් ඇතුළුව මුළු රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.
සාමාන්‍යයෙන් මීයන්ගෙන් ව්‍යාප්ත වන මෙම වෛරසය මෙහිදී මිනිසුන් අතර සමීප සම්බන්ධතා මගින් පැතිරී ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ සැක පළ කරති.
දැනට පුද්ගලයන් 146 දෙනෙකු රැගත් නෞකාව කැනරි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර, එහි සිටින සියලු දෙනා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ රඳවා ඇති බව වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙම වෛරසය කොවිඩ් වැනි රෝග මෙන් වාතයෙන් වේගයෙන් ව්‍යාප්ත නොවන අතර, ව්‍යාප්තිය සඳහා ඉතා සමීප සම්බන්ධතා අවශ්‍ය බවය.




