WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ධීවර යාත්‍රා හරිත බලශක්තියට යොමු කිරීමට නෝර්වේ සහාය

I
Ishanka Jayasuriya
April 22, 2026 · 2 min read
220 viewsf𝕏W
 ධීවර යාත්‍රා හරිත බලශක්තියට යොමු කිරීමට නෝර්වේ සහාය
නෝර්වේහි බර්ගන් නුවර පැවැත්වෙන “One Ocean Week” ජාත්‍යන්තර සමුළුවට සහභාගී වී සිටින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බර්ගන් ප්‍රාන්ත සභාවේ ප්‍රධානී ක්‍රිස්ටීන් බී. මේයර් මහත්මිය ඇතුළු නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.
මෙම සාකච්ඡාවට නෝර්වේ නිර්වේතනික කොන්සල් ස්ටර්ල් එච්. පෙඩර්සන් මහතාද එක්ව සිටියේය.
සාකච්ඡාවේදී ධීවර යාත්‍රා සඳහා විදුලි හා හයිඩ්‍රජන් තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව ප්‍රධාන අවධානය යොමු විය. ලොව ප්‍රමුඛ සමුද්‍රීය බලශක්ති සමාගමක් වන “Corvus Energy” සමාගම සමඟ පැවති හමුවේදී, බැටරි බලශක්ති සහ හයිඩ්‍රජන් ඉන්ධන සෛල තාක්ෂණය යොදාගනිමින් යාත්‍රා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය නිෂ්පාදනය කළ යාත්‍රා කිහිපයකට දැනටමත් එම සමාගම බැටරි පද්ධති සපයා ඇති බවද සඳහන් වේ. ඉන්ධන පිරිවැය සහ කාබන් විමෝචනය අඩු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බැටරි පද්ධති එකලස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හැකියාවද මෙහිදී සාකච්ඡා වී ඇත.
එමෙන්ම බර්ගන් ප්‍රාන්තයේ හදිසි සූදානම් කිරීම සහ සිවිල් ආරක්ෂණ අංශය සමඟ පැවති හමුවකදී නෝර්වේ ආපදා කළමනාකරණ ක්‍රමවේද පිළිබඳවද කරුණු හදාරා ඇත. මාස හයක අත්‍යවශ්‍ය ඖෂධ තොග පවත්වාගෙන යාම, හදිසි අවස්ථාවලදී පෞද්ගලික දේපළ භාවිතයට ඇති නීතිමය හැකියාව සහ ජනතාව පූර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.
මෙම අත්දැකීම් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙම නිල සංචාරයට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතාද එක්ව සිටියහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ICC ක්‍රිකට් ප්‍රධාන තනතුරෙන් වසීම් ඛාන් ඉල්ලා අස්වෙයි
Next
සුරේෂ් සලේ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

More in Breaking News