විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සඳහන් කළේ, IRIS Dena නෞකාවේ සිදුවූ බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැක්වූ මැදිහත්වීමටත්, මියගිය කාර්ය මණ්ඩලය සහ ඉරාන නාවික නිලධාරීන්ගේ දේහ ඉරානයට භාරදීමට ලබාදුන් සහයෝගයටත් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කළ බවයි.
එම සංවාදයේදී IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය අමෙරිකාව විසින් සිදු කළ පෙර නොවූ යුද අපරාධයක් බවත්, එය ජාත්‍යන්තර මානුෂීය නීතිය හා 1949 ජිනීවා සම්මුති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙම සිද්ධිය ඉරානය කිසිසේත් අමතක නොකරන බවද ඔහු අවධාරණය කර ඇත.
අපරාධයට වගකිව යුතු පාර්ශව නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා සියලු නීතිමය හා දේශපාලනික ක්‍රම භාවිතා කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධන තත්ත්වය පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.




