සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 425 ක පිරිවැයකින් මහනුවර ජාතික රෝහලට නවීන වෛද්‍ය යන්ත්‍ර දෙකක් ලබාදී ජනතා අයිතියට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව රුපියල් මිලියන 208 ක වටිනාකමකින් යුත් මූත්‍රා පද්ධතියේ ගල් කුඩු කිරීම සඳහා භාවිතා වන නවීන යන්ත්‍රයක් ජන්‍ය මූත්‍රල ඒකකයට ලබාදී තිබේ. මෙම යන්ත්‍රය මගින් ශල්‍යකර්මයකින් තොරව ගල් කුඩා කොටස්වලට කඩා මූත්‍රා සමඟ පිටවීමට පහසු කරයි.
පෙර පැවැති යන්ත්‍රය අක්‍රීය වීමෙන් නතර වී තිබූ ප්‍රතිකාර සේවාව දැන් වඩාත් ගුණාත්මකව සහ ආරක්ෂිතව සිදු කිරීමට හැකි බවද සඳහන් වෙයි. එමෙන්ම රෝගීන්ට එදිනම රෝහලෙන් පිටව යාමට ද අවස්ථාව හිමි වේ.
තවද ජන්‍ය මූත්‍රල දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර තිබීම හේතුවෙන් දිගු කාලීන පොරොත්තු ලැයිස්තු අඩු වනු ඇත.
මේ සමඟම රුපියල් මිලියන 217 ක වටිනාකමකින් යුත් රුධිරවාහිනී සහ සනාල රෝග හඳුනා ගැනීමට භාවිතා කරන නවීන යන්ත්‍රයක් ද ස්ථාපනය කර තිබේ. මෙම යන්ත්‍රය මගින් රෝගී තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන කුඩා නළයක් හරහා සෘජුව ප්‍රතිකාර ලබාදිය හැක.
මෙම නවීන උපකරණ හඳුන්වාදීමත් සමඟ මධ්‍යම පළාතේ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන්ට උසස් මට්ටමේ වෛද්‍ය සේවාවන් ලබාගැනීමට පහසුකම් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි




