විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්න ප්‍රදේශයක කැලෑ හෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධ නඩු තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (27) ඉවත්වී ඇත.
මෙම අභියාචනය ඒ.එච්.එම්.ඩී. නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවා තිබුණි.
එහිදී විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පෞද්ගලික හේතු මත පෙත්සම විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී ඇත.
ඒ අනුව මෙම අභියාචනා පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සඳහා සැප්තැම්බර් 09 වනදා යළි කැඳවීමට නියම කර තිබේ.
මෙම නඩුව 2015 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ රිට් පෙත්සමක් මත ආරම්භ වී ඇති අතර, විල්පත්තු ආසන්න රක්ෂිත වනාන්තර විනාශ කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම අභියෝගයට ලක් කර තිබුණි.
අදාළ නඩු තීන්දුවෙන් එම ක්‍රියාවන්ට හිටපු අමාත්‍යවරයා සම්බන්ධ බව සඳහන් කරමින්, වන වගා කටයුතු සඳහා රුපියල් කෝටි 106කට ආසන්න මුදලක් ගෙවීමටද නියෝග කර තිබුණි.
එම තීන්දුව නීතියට පටහැනි බව පවසමින් එය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති අතර, මීට පෙරද විනිසුරුවරු කිහිප දෙනෙකු මෙම නඩු විභාගයෙන් ඉවත්වී තිබේ.




