අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
පසුගිය 25 වනදා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේදී ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් අතරතුර, ගිනිඅවියක් රැගෙන කාන්තාවකට තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
අදාළ ඉඩමේ අයිතිය පිළිබඳ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, එම ඉඩම තමන්ට අයත් බව මන්ත්‍රීවරයා පවසන අතර තවත් කාන්තාවක්ද එහි අයිතිය ඉල්ලා සිටින බව වාර්තා වේ.
එදින ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමක් හටගෙන, එය උණුසුම් වීමෙන් අනතුරුව මෙම සිද්ධිය සිදුවී ඇති බව සඳහන් වේ.




