නීති විරෝධී ලෙස ඉදිකර තිබෙන විදුලි වැටවල් ඉවත් කිරීම ඇතුළු අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග කුමක්දැයි අධිකරණය හමුවේ පෙනී සිට පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය අද වන ජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ අනුව වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවත් අභියාචනාදිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අය නිකුත් කළ නියෝගයේ සඳහන්වෙනවා.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඉදිකර තිබෙන නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අලි ඇතුන් සුරැකීමේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෝසම හරහා පෙත්සමෙන් මතු කරන ලද ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගෙන නොමැති බව පෙන්වා දුන්නා.
විදුලි වැටවල් වල අවසර ලත් වෝල්ටීයතාවයක් නොමැතිකම ඇතුළුව නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමේ ගැටළු තවමත් විසඳී නොමැති බවත් ඇය අධිකරණය හමුවේ චෝදනා කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවත් සඳහන් කළා.
අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළා.
ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීම සහ ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟ දින වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයකු අධිකරණය හමුවට පැමිණ කරුණු පැහැදිලි කළ යුතු බවත් අභියාචනාදීකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.




