දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම, රටේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සහ අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරගෙනය.
මේ අතර, රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන සහ සමූපාකාර ආයතන ඇතුළු සියලු ආයතන මගින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබූ ගැසට් නිවේදනයද යළි දීර්ඝ කර තිබේ.
ඒ අනුව විදුලි සැපයුම්, ඛනිජ තෙල් හා ගෑස් බෙදාහැරීම්, සෞඛ්‍ය සේවා සහ පොදු ගමනාගමන සේවා ඇතුළු සේවා රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.




