හෙට (01) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් සහ සැමරුම් උත්සව පැවැත්වීමට සංවිධාන කර තිබේ.
ඒ අනුව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රධාන රැලි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම උත්සව සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම, රථවාහන පාලනය, මාර්ග ආරක්ෂාව සහ සාමාන්‍ය ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
පිට පළාත්වල පැවැත්වෙන රැස්වීම් හා පෙළපාලි සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.
කොළඹ නගරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධාන කරන රැලි හා පෙළපාලි හේතුවෙන් ඇතැම් මාර්ගවල තාවකාලික රථවාහන සීමා ඇතිවිය හැකි බවද පොලීසිය ජනතාවට දැනුම් දී තිබේ.




