HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු මෙහෙයුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත මාරුවීමේ අවසන් අදියර අදින් ක්‍රියාත්මක වන බව බැංකුව නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (30) පස්වරුවේ සිට HSBC සිල්ලර බැංකු සේවා තාවකාලිකව අත්හිටුවන අතර, ඉදිරියේදී එම සේවා Nations Trust Bank යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
බැංකුව සඳහන් කළේ ආයතනික බැංකු සේවා නම් පෙර පරිදිම HSBC යටතේ දිගටම පවත්වාගෙන යන බවයි.
අද පස්වරු 3.00ට HSBC ශාඛා, විදේශ විනිමය මධ්‍යස්ථාන සහ ATM සේවා සාමාන්‍ය පරිදි වසා තැබෙන අතර, පවතින ගිණුම්, හර හා ණය කාඩ්පත්, අන්තර්ජාල සහ ජංගම බැංකු පහසුකම් රාත්‍රී 7.00 දක්වා පමණක් භාවිත කළ හැකි බව දැනුම් දී ඇත.
රාත්‍රී 7.00න් පසු සියලු කාඩ්පත් හා ඩිජිටල් බැංකු සේවා සම්පූර්ණයෙන් නතර වන අතර, ගිණුම් ප්‍රවේශය, ATM භාවිතය සහ මාර්ගගත ගනුදෙනු ද අක්‍රිය වනු ඇත.
සේවා නැවත ආරම්භ වූ පසු සියලු පාරිභෝගික බැංකු සේවා Nations Trust Bank යටතේ ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගනුදෙනුකරුවන්ට දැනුම් දී ඇති බවත් සඳහන් වේ.
බැංකු සේවා නතර වන කාලය තුළ අවශ්‍ය මුදල් ගනුදෙනු සහ ගෙවීම් කටයුතු කල්තියා සූදානම් කර ගන්නා ලෙස HSBC සිය ගනුදෙනුකරුවන්ට ඉල්ලීමක් කර ඇත.




