ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් හෙට (03) දිනයේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.
සංචාරය අතරතුර ඔවුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, දෙරට අතර සෞඛ්‍ය සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරේ.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟද මෙම නියෝජිත පිරිස හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
සංචාරයේ දෙවැනි දිනය වන මැයි 04 දින කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය නිරීක්ෂණය කිරීමටද නියෝජිත පිරිස සූදානම් වී සිටී.
ඖෂධ, වෛද්‍ය උපකරණ, වෛද්‍ය පුහුණුව, අධ්‍යාපන හුවමාරු වැඩසටහන්, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සහ සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහාද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සිය තෙදින නිල සංචාරය අවසන් කරමින් රුසියානු දූත පිරිස ලබන 5 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.




