කෝටි 110ක් පමණ වටිනා ‘කුෂ්’ සහ ‘හැෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අධිකරණයේදී සැකකරුවන් සියලුදෙනා මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ, ගිහි පුද්ගලයෙකු වන චන්ද්‍රකුමාර දයාරත්න නමැත්තාද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මැයි 12 දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවය.
එම සැකකරු මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති අතර, මෙරට සිට මෙහෙයුම් සිදු කළ බව කියන අගුණුකොලේ අමිතානන්ද හිමියන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කෙරේ. ඔහු මෙම නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කිරීමටද යෝජනා කර ඇත.
එමෙන්ම අඹගස්මුල්ලේ පුන්‍යරතන නමැති හික්ෂුවක්ද මෙහෙයුමට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඔහු සැඟව සිටින බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
තවද තායිලන්තයේදී නවාතැන් හා හෝටල් පහසුකම් සලසා දී මෙහෙයුම සම්බන්ධීකරණය කළ බවට සැක කෙරෙන දම්මරක්ඛිත හෙවත් දම්ම නමැති හික්ෂුවද සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඔහු නඩුවේ පස්වන සැකකරු ලෙස නම් කිරීමට නියමිතය.
4/25 වනදා චීවරධාරීන් 23 දෙනා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මලු සකස් කර දී ඇත්තේද එම දම්ම නමැති හික්ෂුව බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා සිටියේය.




