මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. 2023 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරටට සිදු කරන පළමු නිල සංචාරය මෙය වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. එම කාලය තුළ දෙරට අතර පැවති මිත්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
තවද, දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීම ද මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ හේතුවෙන් අද සිට 06 වනදා දක්වා කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය දැනුම්දී ඇත.
මේ අතර, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහුගේ සංචාරයේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍ර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
එසේම හෙට දිනයේ කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය වෙත සංචාරයක නිරත වීමටද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.




