WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සුරේෂ් සලේගේ රිට් පෙත්සම ජුනි 04 දක්වා කල් තැබේ

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
185 viewsf𝕏W
සුරේෂ් සලේගේ රිට් පෙත්සම ජුනි 04 දක්වා කල් තැබේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව පත්කළ කොමිෂන් සභා සහ කමිටු කිසිවකින් තම සේවාදායකයාට එරෙහි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවය.
එමෙන්ම 2019 ජනවාරි සිට නොවැම්බර් දක්වා සුරේෂ් සලේ මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගි වූ බැවින් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පෙන්වා දුන්නේය.
චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා විසින් සිදුකළ ප්‍රකාශ මත මෙම විමර්ශන ආරම්භ වී ඇති බවත්, එම ප්‍රකාශවලට සාක්ෂිමය වටිනාකමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ කුඩා කාමරයක රඳවා සිටීම හේතුවෙන් තම සේවාදායකයා දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත සැලකීමක් හිමිවිය යුතු බව පෙන්වා දෙමින් අදාළ බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු කළ යුතු බව සඳහන් කළේය.
පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු දැක්වීම් ජුනි 04 වැනිදා දක්වා කල් තැබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න වරෙන්තු
Next
ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය

More in Breaking News