ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් වැදගත් පියවරක් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.
යුනිසෙෆ් ශ්‍රී ලංකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය මැයි 4 වැනිදා හිමි වූ මෙම අනුමැතිය මගින් ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් දරුවන්ට ආරක්ෂිත පවුල් පරිසරයක් තහවුරු කිරීමේ වැඩපිළිවෙළට සහාය ලැබෙන බවය.
දරුවන් ආයතනගත කිරීම අවම කිරීම සහ පවුල් පාදක රැකවරණයට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා යුනිසෙෆ් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර තිබේ.
ඒ අනුව, 2018 වසරෙන් පසු ආයතනගතව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 30කින් අඩු වී ඇති අතර, පසුගිය වසර පහ තුළ දරුවන් 6,000කට අධික පිරිසක් ආයතනගත වීම වැළැක්වීමට හැකිවී ඇති බව සඳහන්ය. තවද, දරුවන් 2,000කට ආසන්න පිරිසක් නැවත සිය පවුල් සමඟ එක්කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දරුවන් 8,000කට වැඩි පිරිසක් තවමත් නේවාසික රැකවරණ ආයතන තුළ ජීවත් වන බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන් ජීවත්ව සිටින බවත් යුනිසෙෆ් පෙන්වා දෙයි.
දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ සමාජ අපකීර්තිය වැනි හේතු නිසා දරුවන් පවුල්වලින් වෙන්වන තත්ත්වයන් ඇතිවන බව සඳහන් කරන යුනිසෙෆ්, පවුල් සඳහා සහායක සේවා පුළුල් කිරීම සහ සිද්ධි කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කරයි.




