2022 මැයි 09 වනදා අරගලයට පහරදීමෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් හේතුවෙන් හිටපු මැති ඇමතිවරුන්ට ගෙවූ වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස අද (08) නියෝග කළේය.
අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, නිවාස ගිනි තැබීම්වලින් හානි වූ හිටපු මැති ඇමතිවරුන්ට නීතියට පටහැනි ලෙස වන්දි ගෙවා ඇති බැවින්, එම මුදල් යළි අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබේ.




