WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පුළුල් විමර්ශන ඇරඹේ

I
Ishanka Jayasuriya
May 8, 2026 · 3 min read
161 viewsf𝕏W
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පුළුල් විමර්ශන ඇරඹේ
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, සිද්ධිය සැකකටයුතු මරණයක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි නිවසක දෙවන මහලේ කාමරයක් තුළ තිබියදී සොයාගෙන තිබුණි. එම නිවස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Aravinda de Silva මහතාට අයත් බවත්, මරණකරු ඔහුගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා බවත් වාර්තා වෙයි.
පොලීසිය සඳහන් කළේ, සිරුර සොයාගත් අවස්ථාවේදී ගෙල ප්‍රදේශයේ රෙදි පටියක කොටසක් තිබී ඇති අතර, කාමරයේ දොරකද රෙදි කැබැල්ලක් එල්ලී තිබූ බවයි. සිරුරේ හිස කොටස කුෂන් පුටුවක් මත රැඳී තිබූ අතර, පහළ කොටස බිම ස්පර්ශ වන ආකාරයෙන් තිබූ බවද මූලික නිරීක්ෂණවලදී හෙළි වී ඇත.
කපිල චන්ද්‍රසේන මහතා ඊයේ (07) පස්වරුවේ එම නිවසට පැමිණ රාත්‍රිය එහි ගතකර ඇති අතර, අද අලුයම ඔහු සිටි කාමරයේ දොරක එල්ලී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පළකරයි. කෙසේ වෙතත්, එය සියදිවි හානිකරගැනීමක්ද නැතහොත් වෙනත් අපරාධයක්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකය.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු අද පෙරවරු 7.30ට පමණ කපිල චන්ද්‍රසේන මහතා හමුවීමට එම නිවසට පැමිණ තිබූ අතර, කාමරයේ දොරට කිහිපවරක් තට්ටු කළද ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිවසේ හිමිකාරිය අතිරේක යතුර භාවිත කර දොර විවෘත කර ඇත.
එහිදී කපිල චන්ද්‍රසේන මහතා බිම ඇදවැටී සිටින අයුරු දැක ඇති අතර, වහාම පොලීසිය දැනුවත් කර තිබේ.
සිද්ධියෙන් අනතුරුව කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා පරීක්ෂණ සිදුකරන බවය. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද දහවල් සිද්ධිය වූ නිවස වෙත ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබුණි.
එමෙන්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද ස්ථානයට පැමිණ මූලික නිරීක්ෂණ සිදුකර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ විමර්ශන ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.
මෙම මරණය වාර්තා වන්නේ, 2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු සහ විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබූ පසුබිමකය.
අදාළ නඩුවේදී කපිල චන්ද්‍රසේන මහතා දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය මැයි 05 වැනිදා ඇප මත මුදාහැර තිබුණි. කෙසේ වෙතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාජ ලෙස පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවට අධිකරණයට කරුණු අනාවරණය වීමෙන් පසු, ඔහු යළි අත්අඩංගුවට ගැනීමට ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.
විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම ගනුදෙනුවෙන් ලැබුණු මුදල්වලින් කොටසක් එවකට හිටපු ජනාධිපති Mahinda Rajapaksa මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රකාශ බලපෑම් මත ලබාගෙන ඇති බවට ඔහුගේ නීතිඥ පාර්ශ්වය අධිකරණයට දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
උදය ගම්මන්පිලගේ නඩුව ජුනි 11ට කල්යයි
Next
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

More in Breaking News