කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගැනීමට යාමේදීය.
විමර්ශන අනුව, අදාළ ටෙන්ඩරය වෙනුවෙන් එක්වර ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති බව සඳහන් වේ.
බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) සිදුකළ මෙහෙයුමකදී සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසන්නේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මොහොමඩ් මොයුනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බවය.




