පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ දරුණු “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකඟ වී තිබේ.
මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකදීය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, “ඩොලර් මිලියන 450ක පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ පැකේජය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ” බවයි.
පසුගිය නොවැම්බර් 27 වනදා ශ්‍රී ලංකාවට බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත් වූ අතර, පුද්ගල මරණ 640කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට සහාය දැක්වූ පළමු රට ලෙස ඉන්දියාව නොවැම්බර් 28 වනදා “සාගර් බන්දු” සහන මෙහෙයුම ආරම්භ කළේය.
පසුව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම් සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයන් ඇතුළත් වේ.
මෙහිදී නිවාස, සෞඛ්‍ය, ජලය, යටිතල පහසුකම් සහ තාක්ෂණික ක්ෂේත්‍රවල ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වී ඇති බව සඳහන් වේ.




