අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම්දීමකට අනුව අද පෙරවරුවේ එහි පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
ශ්‍රීලන්කන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද කැඳවා තිබුණි.
මෙම ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින්, පසුගියදා සැකසහිත ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබේ.
එහිදී රුපියල් මිලියන 60ක මුදලක් අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබූ බව වාර්තා වෙයි.
මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලි ගමගේ මහතා ද ඊයේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණි.




