ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙට (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව එම කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද (14) පැවැත්වීමට නියමිතය.
නිල කාලය අවසන් වූවද, නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් නිලධාරීන් තම ධුරවල කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇති බව සඳහන් වේ.
2023 මැයි 15 වන දින පත් කරන ලද මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සභාපතිවරයෙකු සහ සාමාජිකයින් හතර දෙනෙකු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කරනු ලබයි.
2022 ඔක්තෝබර් 31 දින සම්මත කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා නවයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කර ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ අතරින් එකක් වේ.
මෙම කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අධීක්ෂණ බලතල සහිත ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරයි.




