රුපියල් මිලියන 108ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හීදි මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය පිටතට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී මෙය සිදුව තිබේ.
මෙම සැකකරු 60 හැවිරිදි ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු උගන්ඩාවේ කම්පාලා නුවරින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා හරහා කටාර් ගුවන් සේවයේ QR 664 ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
ගමන් මල්ල තුළ තිබූ සහතික පත්‍ර බහාලන ෆයිල් කවර දෙකක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක් මෙලෙස සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත භාරදී ඇති බවද සඳහන් වේ.




