අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කරයි.
තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.
අද අලුයම 3:25ට පොල්ගහවෙල සිට පිටත්වූ මෙම දුම්රිය, දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.




