2022 වසරේ ආර්ථික අර්බුද සමයේ Galle Fort අසල පැවති නීතිඥවරුන්ගේ සාමකාමී විරෝධතාවකට පොලීසිය බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ නීතිඥවරුන් වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසිනි. ඔවුන් චෝදනා කර තිබුණේ පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ පොලිස් නිලධාරීන් පෙත්සම්කරුවන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවයි.
එම සමාව පෙත්සම්කරුවන් භාරගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
ඊට අනතුරුව අදහස් දැක්වූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කර ඇත්තේ, “මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ” යනුවෙන් බවයි.
අදාළ සමථය සටහන් කරගත් අධිකරණය, අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කර තිබේ.




