සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සහ ගිනිඅවි සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත පසුගිය 13 වැනිදා රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති අතර, ඝාතනය සඳහා අවශ්‍ය ගිනිඅවි ලබාදීමෙන් සැකකරු ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත වෙඩි නැවත නැවත එල්ල කළ හැකි ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක් සහ උණ්ඩ ගැබ් දෙකක්ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
2025 පෙබරවාරි 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කර තිබුණි.




