ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන හා ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙස සැලකෙන ආශා බොස්ලේ දිවි සැරිය නිම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඇය 92 වියෙහි පසුවී ඇති අතර, දිගු කාලයක් පුරා ඉන්දියානු චිත්‍රපට සංගීතය තුළ අසමසම සේවාවක් ඉටු කළ ගායිකාවක් ලෙස ඇය විශේෂයෙන් ප්‍රසිද්ධය. විවිධ භාෂාවන්හි ගීත දහස් ගණනක් ගායනා කරමින් ඇය සංගීත ලෝකයේ අති විශාල දායකත්වයක් ලබා දී ඇත.
හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් ඇය මුම්බාහි රෝහලකට ඊයේ ඇතුළත් කර ඇති අතර, පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇත. වෛද්‍යවරුන්ගේ දැඩි ප්‍රතිකාර ලබා දී තිබුණද, අද (12) උදෑසන ඇය ජීවිතක්ෂයට පත්වී ඇත.
දශක කිහිපයක් පුරා දිවෙන ගායන ජීවිතය තුළ ඇය බොලිවුඩ් චිත්‍රපට සංගීතයට අද්විතීය හඬක් එක් කළ අතර, ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ගීත රැසක් ලෝකයට දානය කර තිබේ. සංගීත ක්ෂේත්‍රයේ ඇයගේ දායකත්වය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක්ද ඇයට හිමිවී ඇත.
ඇයගේ අවසන් කටයුතු අද (12) සවස 4ට සිවාජි උද්‍යානයේදි සිදු කිරීමට නියමිත අතර, බොහෝ කලාකරුවන් සහ රසිකයන් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




