මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක හටගත් ගින්නකින් නිවාස 200ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් වාර්තා වන පරිදි, මෙම ගින්න අද (19) අලුයම 1.32ට පමණ ආරම්භ වී තිබේ.
එම ප්‍රදේශයේ බහුතරයක් ලී වලින් ඉදිකරන ලද නිවාස තිබීමත්, අධික සුළං තත්ත්වයක් පැවතීමත් හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇති බව සඳහන් වේ.
එම ගම්මානයේ පුරවැසිභාවය නොමැති පුද්ගලයින් සහ ආදිවාසී ප්‍රජාවන් ඇතුළු දුප්පත් ජනතාව විශාල පිරිසක් ජීවත් වන බවද මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් පවුල් 89කට අයත් පුද්ගලයන් 445 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර, ඔවුන් වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් සපයමින් පවතින බව සඳහන් වේ.
විපතට පත් ජනතාව සඳහා මූලික සහන සහ නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සාබාහ් බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් පවසා ඇත.




