ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2024 වසරේදී 14,488 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙයි.
මෙය 2023 වසරේ වාර්තා වූ 13,892 සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 4.3ක වැඩිවීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සමස්ත සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සුළු වශයෙන් පහළ ගොස් තිබියදීත්, ශිෂ්‍ය මරණ සංඛ්‍යාව පමණක් කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂ අවධානයට ලක්ව තිබේ.
NCRB දත්ත අනුව පසුගිය වසර 10 තුළ ඉන්දියාවේ ශිෂ්‍ය සියදිවි නසාගැනීම් සියයට 62.2කින් ඉහළ ගොස් ඇති අතර, 2015 සිට 2024 දක්වා කාලය තුළ පමණක් සිසුන් 115,850 දෙනෙකු සියදිවි නසාගෙන ඇත.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධ්‍යාපනික පීඩනය, දැඩි තරඟකාරීත්වය, මවුපියන්ගේ ඉහළ බලාපොරොත්තු සහ තරුණයන් අතර වැඩිවෙමින් පවතින මානසික පීඩනය මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බවය.
තවද, විශාදය, කාංසාව සහ බයිපෝලර් වැනි මානසික රෝගී තත්ත්වයන් නිසි වේලාවට හඳුනා නොගැනීමද ගැටලුව තවත් උග්‍ර කර ඇති බව සඳහන් වේ.
දිල්ලියේ මානව හැසිරීම් සහ ආශ්‍රිත විද්‍යා ආයතනයේ මනෝචිකිත්සක මහාචාර්ය වෛද්‍ය ඕම් ප්‍රකාෂ් ප්‍රකාශ කර ඇත්තේ, බොහෝ සිසුන් ප්‍රතිකාර නොලැබූ මානසික පීඩාවන් හේතුවෙන් ජීවිත අහිමි කරගන්නා බවය.




