හොංකොං නගර මධ්‍යයෙන් මිනිත්තු 30ක පමණ නෞකා ගමනකින් ළඟා විය හැකි ලන්ටාවු දූපතේ කෝපි වගාවක් පිළිබඳව අද වනවිට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
ලන්ටාවු දූපතේ පිහිටි “එල්සීසී රෝස්ටරි” නමැති කෝපි සැකසුම් මධ්‍යස්ථානයේ හිමිකරු රින්ගෝ ලැම්, නගරයක සෙවනැල්ල යටතේ කෝපි වගා කළ හැකි බව සනාථ කිරීමට උත්සාහ දරන පුද්ගලයෙකි.
එහි අලෙවි කරන කෝපි බීජ අතර “ලන්ටාවු බීජ” නමින් හඳුන්වන විශේෂ කෝපි වර්ගයක් ද තිබෙනවා. එය හොංකොංහිම වගා කළ කෝපි බීජවලින් නිපදවූවක්.
ආසියාවේ හොඳම කෝපි නිෂ්පාදන රටවල් බොහෝවිට දකුණු ආසියාවේ පිහිටා ඇති අතර, වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි රටවල උණුසුම් දේශගුණය කෝපි වගාවට ඉතා සුදුසුයි. එහෙත් හොංකොං වැනි නගරයක් කෝපි වගාවට සුදුසු ස්ථානයක් ලෙස කලින් සැලකුණේ නැහැ.
එයට හේතුව වී ඇත්තේ ඉහළ ඉඩම් මිල, නගරකරණය සහ තේ පානයට ඇති සංස්කෘතික නැඹුරුවයි. ඒ නිසා හොංකොං බොහෝ ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරනු ලබනවා.
රින්ගෝ ලැම් පවසන්නේ, හොංකොංහි කෝපි වගා කරන බව පැවසූ විට බොහෝ දෙනා පුදුමයට පත්වන බවයි.
විශේෂඥයන් සඳහන් කරන්නේ, කෝපි වගාවට අත්‍යවශ්‍යම කරුණ උස භූමි නොව, සමකයට උතුරු සහ දකුණු දෙසින් පිහිටි “කෝපි කලාපය” තුළ රට පිහිටීම බවයි. හොංකොං එම කලාපය තුළ පිහිටා තිබීම හේතුවෙන් කෝපි වගාවට යම් සුදුසුකමක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
හොංකොං විශ්වවිද්‍යාලයට සම්බන්ධ කෝපි වගා ව්‍යාපෘතියකින් වාර්ෂිකව කෝපි බීජ කිලෝග්‍රෑම් 50ක් පමණ නිෂ්පාදනය කරනවා. එහි කෝපි ගස් 800ක් පමණ වගා කර තිබෙනවා.
රින්ගෝ ලැම්ගේ උනන්දුව ආරම්භ වී ඇත්තේ වසර හයකට පෙර පැනමා සංචාරයකදී ලැබුණු කෝපි බීජ 100ක් නිසායි. ඒවායෙන් බීජ බොහෝ ප්‍රමාණයක් පැළ වී ඇති අතර, ලන්ටාවු දූපතේ ගොවීන් සමඟ එක්ව ඒවා වගා කර තිබෙනවා.
දැනට ගොවීන් 25 දෙනෙකු කෝපි ගස් 400ක් පමණ රැකබලා ගන්නා අතර, මේ වසරේ ඔවුන්ගේ විශාලතම අස්වැන්න ලෙස කෝපි ගෙඩි කිලෝග්‍රෑම් 10ක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙය විශාල වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීමේ අදහසක් නොමැති බවයි වාර්තා වන්නේ. නිෂ්පාදන පිරිවැය ඉහළ වීම සහ අස්වැන්න ඉතා අඩු වීම ඊට හේතුවයි.
එහෙත් මෙම වගාකරුවන්ගේ අරමුණ වී ඇත්තේ හොංකොං ජනතාවට කෝපි වගාවේ වටිනාකම සහ ගොවීන්ගේ කැපවීම පිළිබඳ අවබෝධයක් ලබාදීමයි




