හෝර්මුස් මුහුදු සන්ධිය හරහා යුධ සමයේ තම බලය පෙන්වා දුන් ඉරානය, දැන් ලෝක ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වෙත අවධානය යොමු කර තිබෙනවා. ඒ, යුරෝපය, ආසියාව සහ පර්සියානු කලාපය අතර අන්තර්ජාල හා මූල්‍ය දත්ත ගෙනයන මුහුදු පතුල යටින් පිහිටි සන්නිවේදන රැහැන් වෙතයි.
මෙම රැහැන් භාවිත කරන ලෝකයේ විශාල තාක්ෂණික සමාගම්වලින් ගාස්තු අයකිරීමට ඉරානය සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. එම ගාස්තු නොගෙවුවහොත් දත්ත ප්‍රවාහයට බාධා ඇති කළ හැකි බවටද ඉරාන හිතවාදී මාධ්‍ය අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි පවසා ඇත්තේ, “අන්තර්ජාල රැහැන් සඳහා ගාස්තු පනවනවා” යනුවෙනි.
ඉරාන හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ, ගූගල්, මයික්‍රොසොෆ්ට්, මෙටා සහ ඇමේසන් වැනි සමාගම් ඉරාන නීතිවලට අනුකූල විය යුතු අතර, මුහුදු යට රැහැන් සමාගම් ගමන් බලපත්‍ර ගාස්තු ගෙවිය යුතු බවයි. එමෙන්ම, එම රැහැන් අලුත්වැඩියා කිරීමේ අයිතිය ඉරාන සමාගම්වලට පමණක් ලබාදීමටද යෝජනා වී තිබෙනවා.
කෙසේ වෙතත්, දැඩි අමෙරිකානු සම්බාධක හේතුවෙන් මෙම සමාගම්වලට ඉරානයට ගෙවීම් කිරීම ප්‍රායෝගිකව අපහසු වන අතර, බොහෝ දෙනා මෙය සැබෑ ප්‍රතිපත්තියකට වඩා දේශපාලන පීඩන ක්‍රියාමාර්ගයක් ලෙස සලකනවා.
මුහුදු යටින් ගමන් කරන මෙම රැහැන් ලෝක අන්තර්ජාල සම්බන්ධතාවයේ ප්‍රධාන කොඳුනාරටිය ලෙස සැලකෙනවා. ඒවාට හානි සිදුවුවහොත් අන්තර්ජාල වේගය පමණක් නොව, බැංකු පද්ධති, හමුදා සන්නිවේදන, කෘත්‍රිම බුද්ධි දත්ත පද්ධති, මාර්ගගත සේවා සහ ජාත්‍යන්තර ගනුදෙනු පවා බරපතළ ලෙස බලපෑමට ලක්විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
විශ්ලේෂකයන් පවසන්නේ, හෝර්මුස් මුහුදු සන්ධිය පිළිබඳ තම බලපෑම පෙන්වාදීම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම ඉරානයේ අරමුණ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂක මොස්තාෆා අහ්මඩ් සඳහන් කරන්නේ, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට මුහුදු යට රැහැන්වලට හානි කිරීමේ හැකියාව පවතින බවයි. එවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් කලාප කිහිපයක්ම “අංකිත ව්‍යසනයකට” මුහුණ දිය හැකි බවද ඔහු අනතුරු අඟවනවා.
විශේෂයෙන් පර්සියානු කලාපයේ රටවල්, ඉන්දියාව සහ නැගෙනහිර අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සේවා, බැංකු පද්ධති සහ තෙල් හා ගෑස් අපනයන දැඩි බලපෑමකට ලක්විය හැකි බව සඳහන්.
ඉරානය මෙම යෝජනාවට නීතිමය පදනමක් ලෙස 1982 එක්සත් ජාතීන්ගේ මුහුදු නීති සම්මුතිය ද උපුටා දක්වනවා. එම සම්මුතිය අනුව, තම භෞමික මුහුදු කලාපයට ඇතුළු වන රැහැන් සහ නළ මාර්ග සම්බන්ධයෙන් කොන්දේසි පැනවීමේ අයිතිය වෙරළාසන්න රටවලට පවතින බවයි එහි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, දැනට පවතින රැහැන් සඳහා පෙර ඇති ගිවිසුම් ඉරානයට ගරු කළ යුතු බවයි. නමුත් අලුතින් පිහිටුවන රැහැන් සඳහා කොන්දේසි පැනවීමේ හැකියාව රටකට තිබිය හැකි බවද ඔවුන් සඳහන් කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා




