ශ්‍රී ලංකාවේ විදේශිකයන් සම්බන්ධ මෑත කාලීන සයිබර් අපරාධ විමර්ශන පිළිබඳව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම මුදල් අමාත්‍යාංශය, පොලිසිය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
සයිබර් අපරාධ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් විදේශිකයන් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ලියාපදිංචි සමාගම්වල සේවය කර ඇති බව අනාවරණය වීමෙන් පසුව මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මැයි 6 වනදා පැවති නඩු විභාගයකදී චීන ජාතිකයන් 37 දෙනෙකු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් පවසා ඇත්තේ, ඔවුන් වරාය නගරයේ ලියාපදිංචි සමාගමක් හරහා වීසා ලබාගෙන ඇති බවයි.
වරාය නගරයේ තවමත් භෞතික ගොඩනැගිලි නොමැති බැවින් එම කණ්ඩායම කොස්වත්ත තලංගම උතුරේ පිහිටි කාර්යාලයකින් ක්‍රියාත්මක වූ බවද සඳහන්.
වරාය නගර අධ්‍යක්ෂ ජනරාල් රේවන් වික්‍රමසූරිය පවසන්නේ, පොලිසිය විසින් බලයලත් සමාගම් පිළිබඳ තොරතුරු ඉල්ලා ඇති අතර කොමිසම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, වරාය නගර රාමුව යටතේ සමාගම් ලියාපදිංචි කිරීමේදී දැඩි පසුබිම් පරීක්ෂණ සිදු කරන බවත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ඉඩ නොදෙන බවත්ය.
කෙසේ වෙතත්, වීසා නිකුත් කිරීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර කොමිසම විසින් නිර්දේශ පමණක් ලබා දෙන බවද ඔහු පැහැදිලි කර ඇත.
මේ අතර සයිබර් අපරාධ චෝදනා සම්බන්ධයෙන් චීනය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, තායිවානය, නේපාලය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, ඉන්දියාව සහ පේරු ඇතුළු රටවල් රැසක ජාතිකයන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.




