ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සුහදතා සහ වෘත්තීයමය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය සහ පාකිස්ථාන නාවික හමුදාවන්ට අයත් යුද නෞකා හා සබ්මැරීනයක් පසුගිය ජුනි 01 වැනිදා කොළඹ වරායට පැමිණ තිබේ.
ඒ අනුව, ඉන්දීය නාවික හමුදාවට අයත් INS Airavat යුද නෞකාව මෙහෙයුම් අවශ්‍යතාවක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර, පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Taimur, PNS Aslat යන යුද නෞකා සහ PNS/M Hangor සබ්මැරීනය සුහදතා සංචාරයක් හා නැවත අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට සේන්දු වී ඇත.
මෙම සංචාර කාලය තුළ නාවික කාර්ය මණ්ඩල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෘත්තීයමය හා සුහදතා වර්ධන වැඩසටහන් සංවිධානය කර ඇති අතර, දිවයිනේ ඓතිහාසික සහ සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමටද ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම පාකිස්ථාන නාවික බලඇණිය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර බටහිර මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.




