බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනම් කිරීම නීතිමය ක්‍රියාපටිපාටියට අනුව සිදු නොවීම හේතුවෙන් ඔහුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.
මෙම නිගමනයට එළඹ ඇත්තේ උපුල්දෙණිය මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අවසන් කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව කොමිසම සඳහන් කරයි.
ජනාධිපති පොදු සමාව අනිසි ලෙස භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට එල්ල වූ චෝදනා මත ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශනය ජනාධිපති කාර්යාලය විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව ආරම්භ කර ඇත.
පසුව 2025 ජූනි 09 වැනිදා කැබිනට් මණ්ඩලය ඔහුගේ වැඩ තහනම් කිරීමට තීරණය කළ අතර, ඊළඟ දින ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පසුව ඔහු ඇප මත නිදහස් කර ඇත.
මෙම සිදුවීමෙන් ඔහුගේ අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් ඔහුගේ බිරිඳ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, අත්අඩංගුවට ගැනීමේදී නිසි පරීක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති බවත්, මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමද සම්පූර්ණ හා නිවැරදි ලෙස සිදුකර නොමැති බවත්ය. එමෙන්ම ඔහුගේ ප්‍රකාශ පිළිබඳවද පූර්ණ විමර්ශනයක් සිදුකර නොමැති බව සඳහන් වේ.
තවද, වැඩ තහනම් කිරීම සඳහා ඉදිරිපත් කළ ලේඛනවලද ප්‍රමාණවත් තොරතුරු ඇතුළත් නොවීම පිළිබඳවද අවධානය යොමු කර ඇත. ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස සිටියදී බලතල වෙනත් නිලධාරීන් වෙත පවරා තිබූ තත්ත්වයක් තුළ වැඩ තහනම් කිරීමද ප්‍රශ්න සහගත බව කොමිසම පෙන්වා දෙයි.
ඒ අනුව නීතිමය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ වගන්ති උල්ලංඝනය වී ඇති බව තීරණය කර ඇත.
එබැවින්, අදාළ අංශ විසින් මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවත්, වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් කොමිසම නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශ 2026 අප්‍රේල් 30 වැනිදාට පෙර ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කර ඇත.




