දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, හෙට (17) වන විට බස් සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවද මගීන්ගේ පැමිණීම අඩු වීම හේතුවෙන් බස් රථ රැසක් මගීන් නොමැතිව ධාවනය වූ බවද ඔහු සඳහන් කළේය.
මෙම අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, අද සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අද දිනයේදී දුම්රිය ගමන් වාර 120කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
උදෑසන හා සවස කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන අතර, 18 සහ 19 දිනවල විශේෂ දුම්රිය ගමන්වාර ද යොදා ඇත. අද උදෑසන 6.10ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය කර ඇති අතර, සවස 1ට තවත් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.
එසේම 19 වැනිදා සවස මාතර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.




