ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩු හත වෙනත් අධිකරණ වෙත යොමු කරන්නේද යන්න පිළිබඳ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අසංග එස්. බෝදරගම මහේස්ත්‍රාත්වරයා ඊයෙ (20) දැනුම් දුන්නේය.
එමෙන්ම, එක් නඩුවක සාක්ෂි විභාගය අවසන් වූ පසු අනෙක් නඩු අනුපිළිවෙළින් විභාගයට ගන්නා හැකියාව පිළිබඳවද එදින අධිකරණ තීරණය ප්‍රකාශ කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති මෙම නඩු හතෙන් දෙකක් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතින අතර, ඉතිරි නඩු පහ වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
තවද, දැනට විභාග වන නඩු දෙක අවසන් වූ පසු අනෙක් නඩු එකින් එක විභාගයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා ඇත.
මෙම නඩු සියල්ල එකවර විභාග කිරීම සැකකාරියට ගැටලුවක් වන්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, තාක්ෂණික ගැටලුවක් නොමැති වුවද ඇය මුහුණ දෙන මානසික පීඩාව සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව නීතිඥවරයා සඳහන් කළේය.
මේ අතර, රජයේ අධිනීතිඥවරිය දන්වා සිටියේ දැනට විභාග වන නඩු දෙක ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තබාගෙන ඉතිරි නඩු පහ වෙනත් අධිකරණ වෙත යොමු කරන ලෙස මීට පෙරද ඉල්ලීම් කර ඇති බවයි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී නඩුව එදින දක්වා කල් තැබීය.




