ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් වූ රැදවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සමට වගඋත්තරකරුවරු ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම තුළ සුරේෂ් සලේ කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැණි බවයි. ඔහු 2016–2018 කාලයේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවත්, 2019 ජනවාරි 07 සිට නොවැම්බර් 29 දක්වා ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බවත් සඳහන් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සමයේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටිය බවද පෙත්සම්කරු පෙන්වා ඇත. සෙසු පරීක්ෂණ වාර්තා අනුව එම ප්‍රහාරය අයි.එස්.අයි.එස්. සහ තව්හිද් ජමාත් ආධාරයෙන් සිදු කළ බවත්, කිසිදු වාර්තාවක ඔහුට එරෙහිව නිර්දේශ නිකුත් කර නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
පෙබරවාරි 25 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී කිසිදු සාධාරණ සාක්ෂි නොමැති බවද පෙත්සම්කරු තවදුරටත් දක්වා තිබේ. ඔහු සහ සෙසු සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවන විමර්ශන සිදුකිරීමටත්, තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට, සහ නිකුත් කරන ලද රැදවුම් නියෝග බල රහිත කිරීමට ආඥා නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටී.




