මන්නාරම දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම සහ ඒ සම්බන්ධ ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් මන්නාරම ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වී තිබේ.
මෙම සංචාරයේදී මුල්ලිකුලම, සිලාවතුර, තලෙයිමන්නාරම, වංකාලෙයිපාඩු සහ පල්ලිමුනෙයි ප්‍රදේශවල පිහිටි නාවික හමුදා කඳවුරු තුළ පවතින සිවිල් ජනතාවට අයත් ඉඩම් පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත.
ඉන් අනතුරුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන් සමඟ ඉඩම් ගැටළු පිළිබඳ අදහස් හුවමාරුවක්ද සිදුකර තිබේ.
විශේෂයෙන් නාවික හමුදා භූමි තුළ පවතින පාසල්, ආගමික ස්ථාන සහ මහජන භාවිතයට අදාළ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ජාතික ආරක්ෂාවට හානි නොවන ආකාරයෙන් ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවයි.
පසුගිය වසරේ උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු ඉඩම් අක්කර 994ක් සිවිල් ජනතාව වෙත නිදහස් කර ඇති අතර, මෙම වසර තුළ තවත් අක්කර 551ක් නිදහස් කිරීම පිළිබඳ සොයාබලන බවද ඔහු ප්‍රකාශ කළේය.




