ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක දින 10කට ආසන්න කාලයක් සිරවී සිටි පිරිසෙන් එක් අයෙකු මුදා ගැනීමට ලාඕස සහ තායිලන්ත සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්‍රං සෙවීම සඳහා ගම්වැසියන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය මැයි 20 වැනිදා ගුහාවට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව සහ ගුහාව තුළ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහා දොරටුව වැසී යාමෙන් ඔවුන් සිරවී තිබුණි.
ගුහාවෙන් මිදී පැමිණි එක් පුද්ගලයෙකු විසින් සිද්ධිය බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව විශේෂ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
වාර්තා වන අන්දමට, ගලවා ගැනීමේ ස්ථානයේ සිට මීටර් 300කට ආසන්න ගැඹුරක තවත් සිව්දෙනෙකු ජීවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, දෙදෙනෙකු අතුරුදහන්ව සිටී.
මෙම මෙහෙයුම සඳහා 2018 වසරේ Tham Luang Cave Rescue මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීණ ගලවාගැනීමේ නිලධාරීන්ද එක්ව සිටින අතර, ඔවුන් ගුහාව තුළ රැඳී ඇති ජලය අඛණ්ඩව පිටතට පොම්ප කරමින් සිටී.




