WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

අමෙරිකානු - ඉරාන ගැටුම අවසන් කළ හැකි යෝජිත ගිවිසුමේ ඇත්තේ මොනවාද

I
Ishanka Jayasuriya
May 25, 2026 · 2 min read
217 viewsf𝕏W
අමෙරිකානු - ඉරාන ගැටුම අවසන් කළ හැකි යෝජිත ගිවිසුමේ ඇත්තේ මොනවාද
අමෙරිකාව සහ ඉරානය අතර සති කිහිපයක් පුරා පැවති ගැටුමෙන් පසු ඇතිවූ සටන් විරාමය ස්ථාවර ගිවිසුමක් බවට පත් කිරීමට දෙපාර්ශ්වයම සමීප වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශ්වයම “අවබෝධතා ගිවිසුමක්” (Memorandum of Understanding) පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, එමගින් පවතින ගැටලු සඳහා විසඳුම් මාර්ගයක් සැකසීමට අපේක්ෂා කරන බව සඳහන්. කෙසේ වෙතත්, අද දිනයේදීම අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වනු ඇතැයිද වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය
යෝජිත ගිවිසුම යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය ක්‍රමයෙන් නැවත විවෘත කිරීම සහ ඉරාන වරායන්ට එරෙහි අමෙරිකානු අවහිරතා ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ සමුද්‍ර සන්ධිය තවදුරටත් තම අධීක්ෂණය යටතේ පවතින බවයි. එමෙන්ම නැව් ගමනාගමනය පෙර තත්ත්වයට පත් කිරීමට දින 30ක කාලයක් ගතවිය හැකි බවද සඳහන්.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන
අමෙරිකාවට අවශ්‍ය වන්නේ ඉරානය කිසිදු අවස්ථාවක න්‍යෂ්ටික අවි සතු නොවන බවට සහතික වීමයි. ඒ අනුව ඉරානය සතුව ඇති ඉහළ මට්ටමේ යුරේනියම් තොගය අත්හැරීම සහ නව යුරේනියම් ශෝධනය නවතා දැමීම පිළිබඳවද සාකච්ඡා පැවැත්වේ.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ සටන අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කළ පසුව පමණක් න්‍යෂ්ටික කරුණු සාකච්ඡා කළ හැකි බවයි.
ඉරානයේ අත්හිටුවූ වත්කම්
විදේශ බැංකු තුළ අත්හිටුවා ඇති බිලියන ගණනක ඉරාන වත්කම් නිදහස් කිරීමද මෙම සාකච්ඡාවල ප්‍රධාන කරුණක් බව සඳහන්.
ඉරානය පවසන්නේ ගිවිසුමේ මුල් අදියරේදීම එම මුදල් නිදහස් කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. නමුත් අමෙරිකාව සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කළ පසුව පමණක් එවැනි සහන ලබා දිය හැකි බවයි.
සම්බාධක ඉවත් කිරීම
ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳවද සාකච්ඡා පවතින අතර, විශේෂයෙන් තෙල් අපනයන සම්බාධක ඉවත් කිරීමෙන් ඉරානයට විශාල ආදායමක් ලැබිය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සම්බාධක ඉවත් කිරීමද න්‍යෂ්ටික වැඩසටහන හා හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ගිවිසුම් ක්‍රියාත්මක වීම මත රඳා පවතින බව සඳහන්.
මිසයිල වැඩසටහන සහ ලෙබනන් ගැටුම
ඉරානයේ දිගු දුර බැලස්ටික් මිසයිල වැඩසටහනද අමෙරිකාවේ අවධානයට ලක්ව තිබේ. එමෙන්ම ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුමද මෙම සාකච්ඡාවලට බලපාන කරුණක් ලෙස සැලකේ.
අවසානයේ ඉරානය පවසන්නේ මැදපෙරදිග කලාපයේ යුද්ධය ස්ථිරවම අවසන් කරන “සාධාරණ සහ සමබර ගිවිසුමක්” සඳහා තමන් සූදානම් බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විමල් වීරවංශ අත්අඩංගුවට
Next
කොංගෝවේ ඉබෝලා ව්‍යාප්තියේ මධ්‍යස්ථානයෙන් හෙළිවන බියකරු තත්ත්වය

More in World