ඉබෝලා ව්‍යාප්තියෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළ ජනතාව භීතිය, වැරදි තොරතුරු සහ සෞඛ්‍ය පහසුකම් හිඟය සමඟ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවතම ඉබෝලා ව්‍යාප්තියේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේ කොංගෝවේ ඉතුරි සහ උතුරු කිවු ප්‍රාන්තයන්ය. එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ රෝගයට වඩා භයානක වී ඇත්තේ ජනතාව අතර පැතිරෙන අසත්‍ය ප්‍රචාර සහ රෝගය පිළිබඳ නොසැලකිලිමත් හැසිරීම් බවයි.
කොකෝවා වෙළෙන්දියක වන හෙලෙන් අකිලිමාලි පවසන්නේ තමන් සෑම විටම මුහුණු ආවරණ පැළඳගෙන සිටියද, ගනුදෙනුකරුවන්ගේ හැසිරීම පාලනය කළ නොහැකි බවයි. “ඉබෝලා ඇත්තම රෝගයක්. මිනිස්සු මේ ගැන සැක කිරීම නවත්වන්න ඕනේ,” ඇය සඳහන් කර තිබේ.
රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වනවිට සැක සහිත රෝගීන් 900කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, තහවුරු කළ ආසාදිතයන් 101 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මරණ 177ක් පමණ මෙම ව්‍යාප්තියට සම්බන්ධ බවට සැක කෙරේ.
මෙම වෛරසය මුලින් ග්‍රාමීය ප්‍රදේශයකින් ආරම්භ වූවද, මේ වනවිට බුනියා සහ ගෝමා වැනි නගර වෙතද පැතිර ගොස් තිබේ. අසල්වැසි උගන්ඩාව තුළද ආසාදිතයන් සහ මරණ වාර්තා වී ඇත.
ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රහාර
ඉතුරි ප්‍රාන්තයේ රෝහලක ඉබෝලා රෝගියෙකුගේ මළසිරුර බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළ පිරිසක් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිනි තබා තිබේ. එහිදී රෝහල් කූඩාරම් දෙකක් විනාශ වී ඇති බව සඳහන්.
සාම්ප්‍රදායික අවමංගල්‍ය චාරිත්‍ර හේතුවෙන්ද රෝගය තවදුරටත් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මියගිය පුද්ගලයින්ගේ සිරුරු ස්පර්ශ කිරීම වැනි චාරිත්‍ර ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අර්බුදයට තවත් බාධා
මෙම ප්‍රදේශ යුද ගැටුම් සහිත කලාප වීම, ජනතාව ලක්ෂ ගණනක් අවතැන් වී සිටීම සහ සෞඛ්‍ය පහසුකම් හිඟය හේතුවෙන් වෛරස පාලනය තවත් අපහසු වී ඇත.
එමෙන්ම, වත්මන් වෛරස් ප්‍රභේදයට අනුමත එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැති බවද විශේෂඥයින් පවසයි.
ජනතාවට අනතුරු ඇඟවීම්
වෛද්‍යවරු ජනතාවට උපදෙස් දෙන්නේ රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, අත් අල්ලා ගැනීම හා වැළඳ ගැනීම වැනි අනවශ්‍ය ශාරීරික සම්බන්ධතා අවම කරන ලෙසත්ය.
“සෑම පුද්ගලයෙකුම ආසාදන දාමය නවත්වන්න වගකීමෙන් කටයුතු කළ යුතුයි,” යැයි වෛද්‍ය ම්වාරබු හියුග් සඳහන් කර තිබේ.
මේ අතර Africa CDC පවසන්නේ නව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා කටයුතු වේගවත් කර ඇති නමුත් එය සම්පූර්ණ කිරීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකි බවයි.




