හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනය සහ රුසියාව එක්ව පියවර ගෙන තිබේ.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරමින්, එම යෝජනා කෙටුම්පත ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙත දැනටමත් යොමු කර ඇති බව සඳහන් කළාය.
මීට පෙර බහරේනය විසින් ඉදිරිපත් කළ සමාන යෝජනාවක් චීනය සහ රුසියාව විසින් විරෝධය දැක්වීම හේතුවෙන් සම්මත නොවූ අතර, වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම තත්ත්වයට මූලික වී ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරන යුද මෙහෙයුම් බවද ඇය පෙන්වා දී ඇත.
එමෙන්ම, ඉක්මන් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ගැටලුව විසඳීමේ මූලික පියවරක් බවත්, ගැටුම් අවම කර සාමය ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.
චීනය සහ රුසියාව විසින් ඉදිරිපත් කළ මෙම නව යෝජනාව ගැටුම් ලිහිල් කිරීම, සංවාද වැඩිදියුණු කිරීම සහ නාවික ගමනාගමනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවන බවත්, එය ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්ට අනුකූල බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.




